Thursday, February 14, 2019

The Bow

  
              The Bow 


  මානව සම්බන්ධතා ඇතිවන ආකාරය අපූරුය. සමහරු නොසිතන, නොපතන ආකාරයට සම්බන්ධතා ඇතිවෙයි. සමහරු සිතාමතා සම්බන්ධතා ඇතිකර ගනියි. සමහරු බලෙන් සම්බන්ධතා ඇති කරගනියි. සමහරු අනෙකා සම්බන්ධ වීමට උනන්දු වුවද එම සම්බන්ධතා නොසළකා හරියි. මෙම මානව සම්බන්ධතා මිනිසාගේ මූලික පරිණාමික යුගවල සිට ඇතිවූවකි. ලෝකයේ පැවැත්ම තීරණය වන්නේ මේ මානව සම්බන්ධතා හරහා ය. කලාකෘති තුලින් ද කුමනාකාරයේ හෝ මාධ්‍යයන් භාවිතා කරමින්් මෙම මානව සම්බන්ධතා නිරූපණය කරනු ලබයි. සිනමාවද මානව සම්බන්ධතා විදහා පාන අපූූරු කලා මාධ්‍යයකි.
  මානව සම්බන්ධතා පිළිබඳ වෙනස් ම ආකාරයේ කතා ප‍්‍රවෘත්තියක් රැුගත් ප‍්‍රවීණ දකුණු කොරියානු සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන කිම් කි ඩක් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ද බෝ‘ නමැති චිත‍්‍රපටය 2005 වසරේ තිරගත වූවකි. ගොඩබිමෙන් ඈත මුහුදේ බෝට්ටුවක ජීවත් වන අවුරුදු හැටක් පමණ වයසැති පිරිමියෙකු සහ අවුරුදු දහසයක පමණ වයසේ පසුවන තරුණියක අතර ඇතිවන සිද්ධි දාමයක් මෙම චිත‍්‍රපටය ට පාදක වී තිබේ. ‘ීචරසබට ීමපපැර ේකක අසබඑැර ්බා ීචරසබට වැනි අතිශය ජනප‍්‍රිය වූ කිම් කි ඩක් ගේ චිත‍්‍රපට වලට මෙන්ම පොදුවේ ඔහුගේ සිනමා කෘතිවලට අනන්‍ය ලක්ෂණයක් වන දෙබස් කථන අඩුවීම සහ රූප භාෂාව මෙන්ම සංකේත භාවිතා කිරීම ‘ද බෝ‘ චිත‍්‍රපටයේ ද දැකිය හැකිය. දෙබස් අඩුවීමත්, සිනමාත්මක රූප භාෂාවත් නිසා පේ‍්‍රක්ෂකයා භාවනාත්මක ඒකාත්මිකතාවයකට රැුගෙන ඒමට උත්සාහ කිරීම කිම් ගේ සිනමා භාවිතාව තුළ දැකිය හැකි ලක්ෂණයකි. ඔහු චරිතවල නිහඬතාවය වඩා ප‍්‍රිය කරන බව පෙනෙයි.
   කිම්ගේ දොළොස්වන නිර්මාණය ලෙස එළිදැක්වෙන ‘ද බෝ‘ චිත‍්‍රපටය, ආදරය සහ අහිමිවීම පිළිබඳ ඛේදාන්ත කතා ප‍්‍රවෘත්තියක සාක්ෂිකරුවන් බවට පේ‍්‍රක්ෂකයා පත් කරනු ලබන්නේ ඔවුන් ඈත මුහුද වෙත රැුගෙන යමිනි. කතා ප‍්‍රවෘත්තියේ සඳහන් වන මහලූ පිරිමියා සේම වයසට පත්ව දිරාපත් වෙමින් පවතින යාත‍්‍රාවක ඔහු සමග ජීවත් වන තරුණිය මීට අවුරුදු දහයකට පමණ පෙර මහල්ලා විසින්  හදාවඩා ගැනීමට ගෙනෙන ලද තැනැත්තිියකි. කිම් මෙහි යොදාගෙන ඇති වයසට ගිය පැරණි බෝට්ටුව  මහල්ලාගේ ස්වභාවය නිරූපණයට යොදාගෙන ඇති ප‍්‍රබල සංකේතයක් ලෙස ගත හැකිය. තරුණිය අවුරුදු දහයක කාලයක සිට රැුකබලා ගන්නේ ද ඇයගේ සියලූ කටයුතු කරනු ලබන්නේ ද මහල්ලා විසිනි. ඇයට අවුරුදු දහහත පිරෙන තෙක් මහල්ලා ඇයව පරෙස්සමෙන් රැුකබලා ගන්නේ ඇය සමග විවාහ වීමේ අපේක්ෂාවෙනි. ඔහු කෙතරම් පිවිතුරු පේ‍්‍රමවන්තයෙක් ද යත් කෙතරම් නිදහස තිබුණත් ගතවුනු වසර දහයක කාලය තුල ඔහු ඇය සමග කිසිදු ලිංගික සම්බන්ධතාවයක් පවත්වා නැත. ඔහු ඇයට වයස දහහත පිරෙන දිනය තෙක් කැලැන්ඩරයේ දින ගනිමින් නොඉවසිල්ලෙන් පසුවන්නේ ඒ සුන්දර දවස උදාවන තුරුය.
      මේ අතර සති අන්තයේ මෙම බෝට්ටුවට මාළු බෑම සඳහා නගරයේ සිට පැමිණෙන මිනිසුන්ට මෙම මහල්ලා සහ තරුණිය අතර ඇති සම්බන්ධය පිළිබඳ කුකුසක් හට ගනිියි. ඔවුන් දෙදෙනා අතර වන බැඳීම වටහාගත නොහැකිවන මාළු බාන්නන් තරුණියට උකුළු මුකුළු කිරීමට පෙළඹෙයි. තරුණියද ඒවාට විරුද්ධත්වයක් නොපා සිටින්නේ ඒවායින් ඇය යම් ආශ්වාදයක් විඳින බවක් පෙන්වමිනි. ඒ සෑම අවස්ථාවක් පිළිබඳවම ඇස ගසාගෙන සිටින මහල්ලා වහා පැමිණ තරුණිය කැඳවාගෙන යයි. ඔහු ඔවුන්ට අනතුරු අඟවනු ලබන්නේ ඔවුන් සමීපයට ඊතලයක් විදීමෙනි. එම ඊතලය අදහස් රාශියක් කැටිකර පෙන්වයි. තරුණිය පිළිබඳ ස්වාමීත්වය ඇත්තේ මහල්ලාට වන බවත්, ඇය සම්බන්ධයෙන් වන පිටස්තරයන්ගේ මැදිහත්වීම් ඔහු නොඉවසන බවත් මෙයින් සංකේතාත්මකව නිරූපණය කරයි. අවසානයේදී මහල්ලා බැඳ දමන මාළු බාන්නන් දෙදෙනා තරුණියට අතවර කිරීමට සැරසෙයි. එහිදී බේරී පළා යන තරුණිය මාළු බාන්නන් දෙදෙනාට දුන්නෙන් විද තුවාල සිදුකරනු ලබයි.
    මහල්ලා අනාවැකි පවසන්නෙක්්ද වෙයි. ඔහු බෝට්ටුවේ පැත්තක ඇඳ ඇති බුද්ධ රූපයකට ඊතල විදින අතර තරුණිය ඒ ඉදිරියෙන් අවදානම්සහගත ලෙස ඔංචිල්ලාවක් පදිනු ලබයි. ඒ විදින ඊතල අනුව තරුණිය රහසක් ලෙස ඔහුට යමක් පවසන අතර මහල්ලා එය අදාළ පුද්ගලයාට අනාවැකියක් ලෙස කියනු ලබයි. ඔහු දුන්න ආයුධයක් ලෙස භාවිතා නොකරන අවස්ථාවලදී එය එස්රාජයක් වැනි සංගීත භාණ්ඩයකට හරවාගෙන සංගීත ඛණ්ඩ වාදනය කරනු ලබයි. එය මහල්ලා ඇය වෙත දක්වන ආරක්ෂාව මෙන්ම ඔහුගේ සිත තුළ සැඟවුණු රොමාන්තික ආශාවන් සංකේතාත්මකව විදාරණය වන ප‍්‍රබල අවස්ථාවක් බව පෙනෙයි.
    මහල්ලාගේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින විවාහාපේක්ෂාවට කණකොකා හැඬවෙන්නේ බෝට්ටුවට මාළුබෑමට එන තරුණයෙකුගේ ආගමනයත් සමගිනි. තරුණියද ඔහු පිළිබඳ විශේෂ සැළකිල්ලකින් පසුවෙයි. ඇයගේ වයසේම පසුවන තරුණයා කෙරෙහි ආශක්තභාවයකින් පසුවන තරුණියගේ හැසිරීම මහල්ලාගේ විවාහයට විශාල බලපෑමක් සිදු කරයි. තරුණිය මහල්ලාට වඩා තරුණයාට ප‍්‍රියතාවයක් දක්වයි. තරුණයා ඇය හා සමාන වයසේ පසුවීම දෙදෙනා තුළම සමාන හැඟීම් ජනන වීමට හේතුවන බව පෙනෙයි. මේ හේතුවෙන් මහල්ලා තමාගේ විවාහ දිනය පිළිබඳ බරපතල චිත්ත වික්ෂෝභයකට පත්වෙයි. තරුණයා විසින් තරුණියගේ දෙමව්පියන් ඇය පිළිබඳ සොයමින් පළකළ දැන්වීමක් මහල්ලාට පෙන්වුවද ඔහු එය පොඩිකොට විසිකරනු ලබන්නේ තරහෙනි. මහල්ලා විසින් තරුණයාට ඊතල විදිනු ලබන අතර එහිදී තරුණිය මැදට පැමිණ එය වළකාලයි. මහල්ලා තරුණියට කරන බලපෑම නිසා තරුණිය මහල්ලා කෙරෙහි අප‍්‍රසාදයකින් පසුවෙයි. මෙය දරාගත නොහැකි වන මහල්ලා ලැජ්ජාවට පත්ව සිය දිවි හානි කරගැනීමට සැරසෙයි. තරුණ යුවල නගරයට යෑමට සූදානම් වන අතර මහල්ලා ඔවුන් පිටත්වන බෝට්ටුවෙ ලණුවක් ගැටගසා එය බෙල්ලට සවිකරගෙන මියයන්නට උත්සාහ කරන අවස්ථාවේ තරුණිය නැවත මහල්ලා වෙත පැමිණෙන අතර ඔහු පිළිබඳ අනුකම්පාවක් සහ ආදරයක් ඇතිකර ගනියි. අවසානයේදී ඇයට වයස දහහත පිරෙන දින මහල්ලා සමග චාරිත‍්‍රානුකුලව විවාහ වෙයි. මේ සියල්ල දෙස තරුණයා බලා සිටින්නේ බලාපොරොත්තු කඩවූ දෑසකිනි. සාමාන්‍ය පේ‍්‍රක්ෂකයා බලාපොරොත්තු වන්නේ තරුණිය තරුණයා සමග නගරයට ගොස් යහතින් ජීවත් වනු දැකීම වුවද අධ්‍යක්ෂකවරයා මෙහිදී ඒ පේ‍්‍රක්ෂක බලාපොරොත්තුව බිඳ දමනු ලබන්නේ ඔවුන් තුල අපේ්ක්ෂා භංගත්වයක් ඇති කරමිනි. ඒ අනුව අධ්‍යක්ෂකවරයා තරුණිය සිය වයසේ පසුවන තරුණයාගේ හිරිමල් වයසේ ආදරය ප‍්‍රතික්ෂේප කරමින් මෙතෙක් කලක් තමන් පරෙස්සමෙන් රැුකබලා ගත් මහල්ලා සමග වඩාත් අධ්‍යාත්මික වූ බැඳීමක් කරා මෙහෙයවනු ලබයි. මෙය අවස්ථානුකුලව ස්ත‍්‍රී චිත්ත චෛතසිකයන් වෙනස්වන ආකාරය පිළිබඳවද මෙහිදී අපට අදහසක් ලබාදෙයි.
   ‘ද බෝ‘ චිත‍්‍රපටය රූපගත කරනු ලබන්නේ ගොඩබිමෙන් වෙන්වූ ඈත මුහුදේ ය. ගොඩබිම යනු සංස්කෘතින්, නීති සහ සදාචාර සීමාවන්ගෙන් ගහණ පරිසරයකි. නමුත් මුහුද එසේ නොවේ. මුහුදට සීමා නැත. බාධා නැත. ගොඩබිමට වඩා මුහුදේ ජීවිතය සරලය. කාලය ගතවනු නොදැනේ. ඇත්තේ එකම වටපිටාවකි. ඒකාකාරීත්වයෙන් යුක්තය. මෙම බෝට්ටුව නැංගුරම් ලා නැත. ඔහේ පාවෙමින් තිබෙයි. එය ගොඩබිම පවතින සංස්කෘතික සදාචාර බැඳීම් සහ සීමාවලින් විනිර්මුක්තව ඇති බවට ප‍්‍රබල සංකේතයකි. ඒ අනුව වසර දහයක පමණ කාලයක සිට තරුණියට ගොඩබිම සමග සම්බන්ධයක් තිබී නැත. ඇයට නගරයේ ජීවිතය හෝ සංස්කෘතිය ගැන අදහසක් නැත. මහල්ලෙකු සහ දැරිවියක අතර සම්බන්ධය අමුත්්තක් වන්නේ නගරයේ පවතින සංස්කෘතික සම්බන්ධතාවලට සාපේක්ෂව ය. නමුත් ඇය ඒ කිසිවක් පිළිබඳව නොදනී.  ඇය දන්නා ජීවිතය සීමාවී ඇත්තේ මුහුදටත්, බෝට්ටුවටත් පමණි. විවිධ අවශ්‍යතා වෙනුවෙන් මහල්ලා නගරය සමග සම්බන්ධතා පැවැත්වුවද තරුණියට ඒ අවස්ථාව හිමි නොවෙයි. තරුණිය නගරයට ගෙන ගියා නම් තමාට ඇය අහිමිවීවන බව මහල්ලා හොඳින්ම දනියි. ඒ නිසාම මහල්ලා ඇයව බෝට්ටුවේ ජීවිතයට සිරකර දමනු ලබන්නේ ඇය නිසි වයස් සපිරුණු විට තමාගේ කරගැනීමේ ප‍්‍රබල අධිෂ්ටානයකිනි.
    මේ තත්වයේ ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධතා කොරියානු සිනමාවේ පමණක් නොව ශ‍්‍රී ලාංකේය සිනමාවේද එතරම් දක්නට නැත. ඒ අනුව ගත් කළ කිම් ගේ මෙම සිනමා පටය කොරියානු සිනමාව තුල විශේෂ සිනමා කෘතියක් ලෙස පිළිගැනීමට ලක්වී තිබෙයි. කිම් කි ඩක් කොරියානු පමණක් නොවේ ආසියානු කලාත්මක සිනමාවේ ද දැවැන්තයෙකි. කිම් මෙම සිනමා පටයේදී යථාර්තය නිරූපණය කිරීමට සිත්තම් කරන කාව්‍යාත්මක සිනමා රූප, කෘතියට අපූර්වත්වයත් එක් කොට ඇත. අවසාන දර්ශනයේදී මහල්ලා සිය වාදනයෙන් තරුණිය නිදිගන්වා මුහුදට පැනීමෙන් සිය දිවි හානි කරගනී. එසේ කරනු ලබන්නේ ඇයගේ සැබෑ සිතැඟි පරිදි ඇයගේ වයසට ගැලපෙන තරුණයෙකු සමග සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඇයට ඉඩ හරිමිනි. ඇය ඔහු සමග විවාහ වීමට පැමිණියේ සැබෑ අධ්‍යාත්මික ආදරයකට වඩා ඔහු කෙරෙහි ඇතිවූ අනුකම්පාවක් ආදරයකට පෙරළිමෙන් බව ඔහු දනියි. කෙසේ නමුත් මහල්ලා අවුරුදු ගණනාවක් තිස්සේ බලාපොරොත්තුවී සිටි විවාහ වීමේ අරමුණ පමණක් සාක්ෂාත් කරගන්නා ඔහු ඇය සමග මධුසමය ගත නොකරම ඇයගේ පවිත‍්‍රත්වය නොකෙළෙසා ම සිය ජීවිතය අහිමි කරගනියි. එක් අතකින් එය ඔහු සිය ආදරය සහ සිත්ගත් ප‍්‍රියාවියගේ අනාගතය වෙනුවෙන් කරන ප‍්‍රබල ආත්ම පරිත්‍යාගයකි. තරුණිය තරුණයා සමග වෙනත් බෝට්ටුවකින් පිටත් වන විට තරුණිය මහල්ලා සමග වසර දහයක් ජීවත් වූ බෝට්ටුව මුහුදු බත් වීම ප‍්‍රබල සංකේතයකි. තරුණිය මහල්ලා සමග ගත කළ අතීත ජීවිතය, මහල්ලාගේ මියයෑම ආදී සියල්ල සමගින් ඇයගේ ජීවිතයේ එක් පරිච්ෙඡ්දයක් හමාරවීම නව බලාපොරොත්තුවක්  සහ නව ජීවිතයක් සමගින් තරුණිය තරුණයා සමග ගොඩබිමට ගමන් කිරීම මෙයින් නිරූපණය වෙයි.
   සමස්ත චිත‍්‍රපටය තුලම දුන්න සහ ඊතලය ප‍්‍රබල සංඥාර්ථ ලෙස යොදා ගැනීමට අධ්‍යක්ෂක වරයා සමත්වී තිබෙයි. අවසාන දර්ශනයේදී තරුණිය පිරිමියෙකු නැතිව නින්දේදීම සිහිනයෙන් සංසර්ගයේ යෙදෙන අතර ඇයගේ දෙපා මුලට ඊතලයක් පතිත වෙයි. ඇය සූරතාන්තයට පත්වීමත් සමග ඊතලය පතිත වූ තැනින් ඇයගේ කන්‍යාභාවය සිඳී රුධිරය වහනය වන්නේ ද පිරිමියෙකුගේ මැදිහත් වීමකින් තොරවය. මෙය ප‍්‍රබල සංකේතයකි.
        පොදුවේ ගත් කල මෙම චිත‍්‍රපටයේ කලාත්මක ස්වභාවය සහ සංකේත භාවිතය ඉහළ නැංවීමට අධ්‍යක්ෂකවරයා විශාල වශයෙන් උත්සාහ ගෙන තිබේ. මහල්ලා සහ තරුණිය අතර පවතින හැඟීම් සහ ඉංගිත වලින් කෙරෙන නිශ්ශබ්ද ගනුදෙනුව. දෙදෙනා නිදාගන්නා සයනය, මහල්ලා නගරය සමග සම්බන්ධතා පවත්වන බෝට්ටුව සහ තරුණිය සිර කර තබන බෝට්ටුව, විටෙක ආයුධයක් ලෙස රළුවටද විටෙක සෞන්දර්යය ඉස්මතු කරන සංගීත භාණ්ඩයක් ලෙසද භාවිතා කරන දුන්න ආදිය අධ්‍යක්ෂකවරයාගේ පරිකල්පනයේ ප‍්‍රබලතාවය ඉස්මතු කරමින් කෘතියේ සිනමාත්මක ගුණය ඉහළ නංවයි.
   කෘතියේ රඟපෑම්, කලා අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංගීතය ඈ සෑම ආනුෂංගික විෂයක්ම සිනමා පටයට උපරිම සාධාරණය ඉටුකොට ඇතිබව පෙනෙයි. විශේෂයෙන්ම මෙම චිත‍්‍රපටයේ දෙබස් අවම වීම නිසාත්, හැඟීම් සමග කරන කලාත්මක ගනුදෙනුවක් නිසාත් සංගීතඥයාගේ කාර්යය භාරය කැපීපෙනෙයි. සංගීතඥයා මෙහි සංගීතය යොදාගන්නා අකාරය අවස්ථානුකුලව මනාව ගැලපී නාද චිත‍්‍රයක් බවට පත්වන ආකාරය අපූරුය. අවම සංගීත භාණ්ඩ භාවිතයෙන් අවස්ථා සිද්ධි සම්බන්ධ කිරීමට සහ හැඟීම් තීව‍්‍ර කිරීමට සංගීතය මෙහිදී විශේෂ කාර්යය භාරයක් ඉටු කරන බව පෙනෙයි.
    අවසාන වශයෙන් චිත‍්‍රපටයේ දිස්වන්නේ මෙවැනි කියමනකි. ‘හොඳින් තදකොට බඳින ලද දුන්නක ඇති ශක්තිය සහ එය උපදවන අලංකාර නාදය මෙන් මා මිය යනතුරුම ජීවත් විය යුතුය‘ යන්නයි. මෙයින් කියැවෙන්නේ තමා ශක්තිමත් නම්, ආත්ම ශක්තියෙන් යුක්ත නම් තමාට ජීවිතයේ අත්විඳීමට සිදුවන ගැටළු වලට ශක්තිමත් ලෙසත් සැහැල්ලූ ලෙසත් මුහුණ දිය හැකි බවයි. ඒ අනුව අධ්‍යක්ෂකවරයා සිය සිනමා කාතිය හරහා ප‍්‍රබල සමාජ පණිඩයක් ද නිකුත් කරන බව පෙනෙයි.  සමස්තයක් ලෙස ගත් කල මානව සම්බන්ධතා පිළිබඳ වෙනස්ම මානයකට පේ‍්‍රක්ෂක අවධානය රැුගෙන යන කිම් කි ඩක් ගේ ‘ද බෝ‘ චිත‍්‍රපටය ප‍්‍රබල කලාත්මත සිනමා භාවිතාවක් සහිත සාර්ථක චිත‍්‍රපටයක් ලෙස හඳුනාගත හැකිය.

No comments:

Post a Comment

Ismail Darbar

Ismail Darbar ලෝක සිනමාව පිළිබඳව අධ්‍යනය කරන විට එහි වැදගත් අංශයක් ලෙස ශබ්ද පරිපාලනයය හා ශබ්ද නිර්මාණකරණය හඳුන්වා දිය හැකි වේ.  මන්ද...